ජනසන්නිවේදන අධ්‍යයන අංශයට නව අංශාධිපතිවරයෙක්

සැප්තැම්බර් 7th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ නව
අංශාධිපති ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා
2017 සැප්තැම්බර් 04 වන දින වැඩ භාර ගන්නා ලදී.
මෙතුමා 1998 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය
පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය ද, 2008 වර්ෂයේ දී කැලණිය
විශ්වවිද්‍යාලයෙන් ම ජනසන්නිවේදනය පිළිබද දර්ශනපති උපාධිය ද
ලබාගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා සිනමාව හා
රූපවාහිනී යන විෂයධාරා පිළිබඳ ප්‍රාමාණිකයෙකි. ඊෂ්වර විංසතිය,
රන්තලිය, දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යති, මින්දද ගංඟාව,
චිත්‍රාංගනීලාගේ කතාව, උදාන වැව හැදූ මිනිසුන්ගේ කතාව
ආදී සම්මානනීය වාර්තා හා ටෙලි චිත්‍රපට රාශියක් නිර්මාණය කර
ඇත. ඊෂ්වර විංශතිය යනු OCIC හා UNDA සම්මාන ලද ප‍්‍රථම කෙටි
චිත‍්‍රපටියයි.

2006 වසරේ ජර්මනිශයේ 55 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ
නියෝජනය කළ රටවල් 90 ක චිත්‍රපටි 623 ක් අතරින් හොඳම
චිත්‍රපටි 25 අතරට තේරුණු ලංකාව නියෝජනය කළ “We Love
Football” කෙටි චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතාය. මෙම කෙටි චිත්‍රපටිය එම
වසරේ ජර්මනියේ පැවති FIFA ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩා උලෙළේ
ප්‍රවර්ධන චිත්‍රපටියක් ලෙස නම් කෙරිණි.

CIC, OCIS, සරසවිය ආදී සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළ
කිහිපයකම ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළ මෙතුමා මේ වන විට
සිනමා මාධ්‍යයෙන් තම ආචාර්ය උපාධිය හදාරමින් සිටී.

කලන අසපුව, ශාන්තිකර්ම සන්නිවේදනය, ඊෂ්වර විංසතිය ආදී
ග්‍රන්ථ රචනා කරමින් හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියකට ලිපි සපයමින්
ශාස්ත්‍රීය උන්නතිය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන මෙතුමා
සම්මානලාභී පොත් පිටකවර නිර්මාණකරුවෙකු, ග්‍රැෆික්
නිර්මාණකරුවෙකු හා කවියෙකු ලෙස ද සම්භාවනාවට පාත්‍ර වී තිබේ.
වැඩ භාර ගැනීමේ අවස්ථාවට සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති
මහාචාර්ය ඒ.එච්.එම.එච්.අබයරත්න මහතා, ජනසන්නිවේදන
අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්න
මහතා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා, සන්නිවේදන
හා මාධ්‍ය ඒකකයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා,
මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු ජනසන්නිවේදන
අධ්‍යයන අංශයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රැසක්
සහභාගී වූහ.