සංස්කෘත අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර පරිසංවාදය 2017

නොවැම්බර් 10th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයීය සංස්කෘත අධ්‍යයන අංශය මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද සංස්කෘත අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර පරිසංවාදය (The 2nd International Conference on Sanskrit Studies) “සංස්කෘත අධ්‍යයනය පිළිබඳ අන්තරාවලෝකනය, නව්‍යකරණය හා විවරණය” යන්න තේමා කර ගනිමින් නොවැම්බර් 09 වැනි දින සංස්කෘත අධ්‍යයන අංශයේදී පැවැත්විණි. සංස්කෘත භාෂාව පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීමේ අරමුණෙන් පැවැති මෙම පරිසංවාදය විශ්වවිද්‍යාලයීය උප කුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පරිසංවාදයේ සමාරම්භක උළෙලට සමගාමීව විශේෂ දේශනයක් පවත්වමින් ඉන්දියාවේ, මුම්බායි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය ශකුන්තලා ගෞඩේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ සංස්කෘත භාෂාව වත්මන් ලෝකය සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කරන බවය. අද වන විට වෙබ් අඩවි තුළ පවා සංස්කෘත භාෂාව භාවිතා වන බවත් සංස්කෘත භාෂාව නාසා ආයතනයේ පර්යේෂණ කාර්යයන් සඳහා ප්‍රධාන භාෂාවක් ලෙස භාවිතා කිරීමට මේ වන විට සැලැසුම් සකස් කරමින් පවතින බවත් ඒ මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය. සංස්කෘත භාෂාව ඉන්දු යුරෝපීය භාෂා පවුලේ එක් ප්‍රධාන හා පැරණි භාෂාවක් බවත් පාලි, දෙමළ හා හින්දු භාෂාවන්ට සංස්කෘත භෂාවේ ඍජු බලපෑම එල්ල වී ඇති බවත් පෙන්වා දුන් මහාචාර්යවරිය මෙවන් වටපිටාවක් තුළ සංස්කෘත භාෂාව පිළිබඳව කෙරෙන පරිසංවාද භාෂාවේ උන්නතියට වඩාත් වැදගත් වන බව ද පැවැසුවාය.

ලංකාවේ ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාජශ්‍රී බෙහේරා මහත්මිය, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා, අන්තර් පීඨ විෂය මාලා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය දොඩම්කුඹුරේ ධම්මදස්සි හිමි, ප්‍රධාන ශිෂ්‍ය උපදේශක පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි, සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍ය වලපනේ ඥානසේන හිමි, මහාචාර්ය පූජ්‍ය නවගමුවේ රේවත හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු විද්වත්හු සහ විද්‍යාර්ථිහු රැසක් සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

මෙම පරිසංවාදයේදී සංස්කෘත සාහිත්‍යය, සංස්කෘත ව්‍යාකරණ, බෞද්ධ සංස්කෘත අධ්‍යයනය, හින්දු දර්ශනය, වාස්තු විද්‍යාව හා ජෝතිෂ්‍යය, යෝග හා ජීවන දර්ශනය, මහායාන බෞද්ධ දර්ශනය, ශ්‍රී ලංකාවේ සංස්කෘත භාෂාව, පරිගණක සංස්කෘත විද්‍යාව, සංස්කෘත වාග් විද්‍යාව, සාහිත්‍ය විචාරය සහ සංස්කෘත භාෂාවේ නූතන ප්‍රවණතා යන විෂය ක්ෂේත්‍රයන්ට අදාළව දෙස් විදෙස් පර්යේෂකයන් විසින් පර්යේෂණ පත්‍රිකා හැට දෙකක් ඉදිරිපත් කර ඇත.