“Path Finder 2017” වෘත්තිය මාර්ගෝපදේශන වැඩමුළුව

නොවැම්බර් 21st, 2017

කැලණිය විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයට අයත් වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ වාණිජ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ “Path Finder 2017” වෘත්තිය මාර්ගෝපදේශන වැඩමුළුව නොවැම්බර් 16 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින් ඇතුළු සෙසු විද්‍යාර්ථින්ගේ වෘත්තීමය හැකියාවන් වර්ධනය කිරීම සහ ඊට මාර්ගෝපදේශන සැපයීම අරමුණු කර ගනිමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය පී. එන්. ඩී. ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවේදී පීඨාධිපතිතුමාත් වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය එස්. එම්. ඒ. කේ. සමරකෝන් මහතාත් විශේෂ අදහස් දැක්වීම් දෙකක නිරත විය.

මෙම වැඩමුළුවේදී මුඛ්‍ය දේශනය පැවැත්වූ ඉන්දියාවේ කරුන්යා විශ්වවිද්‍යාලයට අයත් කරුන්යා කළමනාකරණ පාසලේ අංශාධිපති මහාචාර්ය Clement Sudhahar මහතා විසින් වෘත්තිය කටයුතු සඳහා සූදානම් වීම පිළිබඳවත් එහිදී කටයුතු කළමනාකරණය කර ගත යුතු ආකාරය පිළිබඳවත් විද්‍යාර්ථින් දැනුම්වත් කළේය.

වැඩමුළුවේ දෙවැනි සැසි වාරයේදී සම්පත් බැංකුවේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපදේශකවරයෙකු සහ ලංකා බැංකුවේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකු වන කෝලිත ගුණරත්න මහතා විසින් විශේෂ දේශනයක් පැවැත්වූ අතර වෙළෙඳපොල විසින් සේවකයන්ගේ වටිනාකම නිර්ණය කරන ආකාරය පිළිබඳව එතුමා එහිදී අදහස් දැක්වූයේය. එම සැසි වාරයේදීම මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන ආයතනයේ කළමනාකරුවෙකු සහ එම විෂය සම්බන්ධයෙන් අන්තර්ජාතික පුහුණුකරුවෙකු හා විශේෂඥයෙකු වන ගිහාන් තලගොඩපිටිය මහතා ද විශේෂ දේශනයක් පැවැත්වූයේය. අභියෝග ඉදිරියේ වෘත්තිය කටයුතු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව න්‍යායයික හා ප්‍රායෝගික ප්‍රවේශයකින් යුතුව ඔහුගේ අදහස් ඉදිරිපත් විය.
ගණකාධිකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ඩබ්. වී. ඒ. ඩී. කරුණාරත්න මහතා, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය යූ. ඩී. මොහාන් මහතා ඇතුළු වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ ආචාර්යවරු මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

දවස පුරා පැවැති මෙම වැඩමුළුවට වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ විද්‍යාර්ථියන් බහුතරයක් සහභාගි වූ අතර එහිදී Mass Holding ආයතනය විසින් විද්‍යාර්ථින් ඉලක්ක කර ගත් සම්මුඛ පරීක්ෂණ මාලාවක් ද පවත්වන ලදි.