ජ්‍යෙෂ්ඨ උපහාර සමඟ “තා 2017”

නොවැම්බර් 21st, 2017

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය යටතේ ක්‍රියාත්මක වන දෘශ්‍ය කලා, සැලසුම්කරණ හා ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයට අයත් ප්‍රාසාංගික කලා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද “තා 2017” සංස්කෘතික ප්‍රසංගය නොවැම්බර් 15 වැනි දින ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණි. ප්‍රාසංගික කලා අධ්‍යයන ඒකකයේ විද්‍යාර්ථින්ගේ මෘදු කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණි.

දේශීය සංස්කෘතියට මුල් තැන දෙමින් පැවැති මෙම ප්‍රසංගය උඩරට, පහතරට හා සබරගමු නැටුම් සම්ප්‍රදායන්හි සංකලනයක් විය. හුදු නර්තන ප්‍රසංගයකට සීමා නොවී ජනශ්‍රැතිය හා ඒ ඔස්සේ ගොඩනැගුණු ජන කලාව පිළිබඳව ද ප්‍රේක්ෂකයාට පුළුල් අවබෝධයක් ලබා දීමට මෙම ප්‍රසංගය ඉවහල් විය. ජනශ්‍රැති ආශ්‍රයෙන් සිදු කළ නව නිර්මාණ ප්‍රෙක්ෂකයට වඩාත් සමීප වූ අතර බෙර සංධ්වනිය සහ පන්දම් පාලිය ප්‍රේක්ෂකයා මවිත කිරීමට සමත් විය.

“තා 2017” ප්‍රසංගයට සමගාමීව ක්ෂේත්‍රය වෙනුවෙන් පුළුල් මෙහෙයක් කළ ප්‍රවීණ කලාකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් උපහාර ප්‍රදානයක් ද සිදු විය. ඒ අනුව මහාචාර්ය මංගලිකා ජයතුංග, මහාචාර්ය බී. ඩී. නන්දදේව, ආචාර්ය අශෝකා දිසානායක සහ ප්‍රවීන නර්තනාචාර්ය එස්. වෙලබඩගේ යන මහත්ම මහත්මීහු උපහාර ලැබූහ. ඊට අමතරව ලලිත කලා අධ්‍යයන අංශයේ මෙන්ම සමස්ත විශ්වවිද්‍යාලයේම කලා කටයුතුවලට සක්‍රීය දායකත්වය ලබා දී, අවසන් ගමන් ගිය ඊශානි රංගනාත් මහත්මිය නමින් සිදු කළ සංවේදී මතකාවර්ජනය ද සුවිශේෂීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා, ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය, දෘශ්‍ය කලා සැලසුම්කරණ හා ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලංකා ද සිල්වා මහත්මිය ඇතුළු එම අධ්‍යයන අංශයේ සෙසු ආචාර්යවරු ද සහභාගී වූහ. විශ්වවිද්‍යාලයේ සෙසු ආචාර්යවරු සහ විද්‍යාර්ථියෝ ද විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට ප්‍රේක්ෂකයන් වශයෙන් සහභාගී වූහ.