Industry Flavour 2017

දෙසැම්බර් 6th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයට අයත් AHEAD විෂය සංගමය විසින් සංවිධානය කරන ලද ‘Industry Flavour 2017’ නොවැම්බර් 29 වැනි දින විශ්වවිද්‍යාලයීය වාණිජ පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින්ගේ ශාස්ත්‍රීය කටයුතු ඉදිරිපත් කිරීම හා කුසලතා ප්‍රදර්ශනය කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

Mass Holdings ආයතනයේ මානව සම්පත් අංශයේ සාමාන්‍යාධිකාරී ඩියඩ්‍රි කන්දප්පා මහත්මිය විසින් ‘Industry Flavour 2017’ වෙනුවෙන් මුඛ්‍ය දේශනය පැවැත්වූ අතර මානව සම්පත් කළමනාකරුවෙකුගේ අනාගත භූමිකාව පිළිබඳව එතුමිය අදහස් දැක්වූවාය. තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසාගේ වටිනාකම් අඩු වෙමින් පවතින බවත් මානව සම්පත් කළමනාකරුවන් විසින් මිනිසාගේ වටිනාකම නැවත වර්ධනය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් බිහි කර ගත යුතු බවත් එතුමිය පෙන්වා දුන්නාය.

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය පී. එන්. ඩී. ප්‍රනාන්දු මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ඩී. යූ. මොහාන් මහතා ඇතුළු සියලුම ආචාර්යවරු ද සෙසු අධ්‍යයන අංශවල ආචාර්යවරු ද විද්‍යාර්ථියෝ ද සම්බන්ධ වූහ.