KELF 2017

දෙසැම්බර් 7th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර පීඨයට අයත් ඉංග්‍රීසි අධ්‍යයන අංශය විසින් සංවිධානය කරන ලද KELF 2017 (කැලණි ඉංග්‍රීසි සාහිත්‍ය උළෙල) දෙසැම්බර් 04 වැනි දින කොටහේනේ ප්‍රඥාකීර්ති අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි. දිවංගත විනේතෘ මහාචාර්ය මැණික් ගුණසේකර මහත්මිය දෙවස් පූර්ණ ගුණ අනුස්මරණයට සමගාමීව ‍මෙම ඉංග්‍රීසි සාහිත්‍ය උළෙල සංවිධානය කරන ලදි.
ඉංග්‍රීසි අධ්‍යයන අංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද BLINK සඟරාව ද මෙම සාහිත්‍ය උළෙලට සමගාමීව එළිදැක්වූ අතර විද්‍යාර්ථින් විසින් රචිත කවි, කෙටිකතා ආදී සාහිත්‍ය නිර්මාණ මෙම සඟරාවේ ඇතුළත්ය. 1982දී පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද BLINK සඟරාවේ මෙම කලාපයේ යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් විසින් සිදු කළ සාහිත්‍ය නිර්මාණ ද අන්තර්ගත වන අතර මෙවර BLINK ඊ සඟරාවක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.
සහිත්‍ය උළෙලට විශේෂ දේශකයන් වශයෙන් ප්‍රවීණ සාහිත්‍යවේදීන් දෙපළක් වන සුනිලා ගලප්පත්ති මහත්මිය සහ අශෝක් ෆෙරී මහතා සහභාගී වූහ. සුනිලා ගලප්පත්ති මහත්මිය විසින් රචිත A Long Watch : War, Captivity and Return in Sri Lanka කෘතිය සහ අශෝක් ෆෙරී මහතා විසින් රචිත The Ceaseless Chatter of Demons කෘතිය පිළිබඳ විද්වත් සාහිත්‍ය කතිකාවක් ද සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත්විණි.
කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් ද මෙහිදී ප්‍රදර්ශනය කළ අතර සම්මානලාභී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන අනෝමා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම චිත්‍රපට පිළිබඳව සංවාදයක් ද පැවැත්විණි.
මීට අමතරව කුඩා කණ්ඩායම් වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කර තිබූ අතර උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය, Scrabble තරඟාවලිය, ඡායාරූප ප්‍රදර්ශනය American Centre විසින් සංවිධානය කරන ලද සාහිත්‍ය කවය ඒ අතරින් විශේෂිතය.
විශ්වවිද්‍යාලයීය උප කුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතා, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා, ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනලි ප්‍රනාන්දු මහත්මිය සහ සෙසු අධ්‍යයන අංශවල අංශාධිපතිවරු ද ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ආචාර්යවරු ද විද්‍යාර්ථියෝ ද සහභාගී වූහ. දිවංගත විනේතෘ මහාචාර්ය මැණික් ගුණසේකර මහත්මියගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට විශේෂ ආරධිතයන් ලෙස සහභාගී වූහ. මීට අමතරව යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු විද්‍යාර්ථියෝ ද ඉංග්‍රීසි සාහිත්‍යය විෂය භාර පාසල් ගුරුවරු සහ පාසල් ශිෂ්‍යයෝ ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.