CGSUK විවාද තරඟාවලිය

ජනවාරි 2nd, 2018

කැලණිය විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද විවාද තරඟාවලියේ අවසාන මහා තරඟය දෙසැම්බර් 20 වැනි දින වෘත්තීය මාර්ගෝපදේශන ඒකක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. “කාන්තාවන්ට එරෙහි හිංසනය මාධ්‍ය තුළ වාර්තා කිරීම සඳහා ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය වේ” යනුවෙන් මාතෘකාව යෝජනා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශ කණ්ඩායම මෙම විවාදයට සහභාගී වූ අතර කටාන පොලිස් අභ්‍යාස ආයතන කණ්ඩායම එම මාතෘකාව ප්‍රතියෝජනා කරමින් තරඟයට ඉදිරිපත් විය.

එම්. ජී. ඒ. ඒ. අනුරුද්ධිකා, ඩබ්. එම්. එම්. කේ. ගුණරත්න, එච්. පුෂ්ප මදුෂාන්, එච්. පී. ධනුෂ්ක සම්පත් හා රොෂාන් මුතුකුමාර (අතිරේක) යන විද්‍යාර්ථින්ගේන් සමන්විත කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශ කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය හිමි කර ගත් අතර එම කණ්ඩායමේ එච්. පී. ධනුෂ්ක සම්පත් හොඳම කථිකයා බවට පත් විය. එම්. ඒ. එච්. සංජය සමරසේකර, යූ. ජී. චන්ද්‍ර කුමාර, කේ. එම්. එන්. කරුණානායක, කේ. පී. හර්ෂණී සහ එම්. එම්. ජී. එස්. මාරසිංහ (අතිරේක) යන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම විසින් විවාද තරඟාවලියේ අනු ශූරතාවය දිනා ගන්නා ලදි.

විශ්වවිද්‍යාලයීය පරිගණක හා තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය පී. ජී. විජේරත්න මහතා, සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරින් දිවාකර මහත්මිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ සම්බන්ධීකාරක – උප පොලිස් පරීක්ෂක පුලස්ති ජයසේකර මහතා මෙම විවාද තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළහ.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය ඊ. ඒ. ඩී. අනූෂා එදිරිසිංහ මහත්මිය, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා ඇතුළු එම අධ්‍යයන අංශයේ ආචාර්යවරු ද සෙසු අධ්‍යයන අංශවල ආචාර්යවරු ද විද්‍යාර්ථියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.