“සාරදා” කලාප පහක් එළි දක්වයි

ජනවාරි 2nd, 2018

කැලණිය විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර පීඨයට අයත් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන “සාරදා” විද්වත් සමීක්ෂිත සංග්‍රහයේ කලාප පහක් 2017 දෙසැම්බර් 22 වැනි දින මානව ශාස්ත්‍ර පීඨ රැස්වීම් ශාලාවේදී එළි දක්වන ලදි. ඒ අනුව පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි අනුස්මරණ කලාපය, පූජ්‍ය රොටුඹ උපාලි මහාස්වාමීන්ද්‍ර අභිස්තව කලාපය, පූජ්‍ය දේවාලේගම මේධානන්ද මහාස්වාමීන්ද්‍ර අභිස්තව කලාපය, මහාචාර්ය තිලක් කාරියවසම් අභිස්තව කලාපය හා මහාචාර්ය ආනන්ද විජේරත්න අභිස්තව කලාපය මෙසේ එළිදක්වනු ලැබිණි.

විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා, අන්තර් පීඨ විෂය මාලා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය දොඩම්කුඹුරේ ධම්මදස්සි හිමි, පර්යේෂණ සභාවේ සභාපති විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය තැරෑලේ ධම්මරතන හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි ඇතුළුව සෙසු අධ්‍යයන අංශවල ආචාර්යවරු ද පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ විද්‍යාර්ථියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.