කැලණිය විශ්වවිද්‍යාලයීය ඉතිහාසය

අගෝස්තු 6th, 2012

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ඉගෙනීමේ මධ්‍යස්ථානයක් ලෙස වර්ෂ 1875 දී ආරම්භ කරන ලද ඓතිහාසික විද්‍යාලංකාර පිරිවෙනෙහි ආරම්භය තෙක් දිව යයි. මෙය සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයේ, ජාතික ව්‍යාපාරයේ සහ ජාතික පුනර්ජීවනයේ පළමු අවධියේදී පෙරටුගාමී වූ ශ්‍රේෂ්ඨ ජාතික මධ්‍යස්ථාන ද්විත්වයෙන් එකකි.

වර්ෂ 1940 හා 1950 ගණන්වලදී ශ්‍රී ලංකාවේ නවීන විශ්වවිද්‍යාල පිහිටුවීමත් සමඟ මෙය වර්ෂ 1959 දී ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය බවට පත් විය. ඉන් අනතුරුව, වර්ෂ 1972 දී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් වී වර්ෂ 1978 දී යථෝක්ත මණ්ඩපය කැළණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව ලෙසින් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිණි.

වර්තමානය වන විට කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රධාන ජාතික විශ්වවිද්‍යාලවලින් එකකි. කොළඹට නුදුරින් කැළණි ගංගා උතුරු ඉවුරේ පිහිටි පුරාණ, ඓතිහාසික කැලණිය, දළුගම පරිශ්‍රයේ විශ්වවිද්‍යාලය පිහිටා ඇත. එය ස්ථාන සතක පිහිටි පීඨ 6කින් හා අනුබද්ධ ආයතන සතරකින් සමන්විත වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඇති කිරීමට පුරෝගාමී වී ඇත. මෙය සිංහල මාධ්‍යයයෙන් විද්‍යා විෂයයන් ඉගැන්වීම ආරම්භ කරන ලද පළමු විශ්වවිද්‍යාලය වන අතරම සාම්ප්‍රදායික කලා පීඨය මානව ශාස්ත්‍ර, සමාජීය විද්‍යා සහ වාණිජ හා කළමනාකරණ යනුවෙන් පීඨ 3 ක් ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද ප්‍රථම විශ්වවිද්‍යාලය ද වෙයි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ පොදුවේ දක්නට නොලැබෙන අද්විතීය අධ්‍යනාංශ කිහිපයක් ද ඇති කැළණිය විශ්වවිද්‍යාලයේ නව්‍යකරණයන් අනෙකුත් විශ්වවිද්‍යාල විසින් අනුගමනය කිරීම දැක ගත හැක. විද්‍යා පීඨයේ කර්මාන්ත පරිපාලන අධ්‍යනාංශය , ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශය, මානව ශාස්ත්‍ර පිඨයේ වාග් විද්‍යා අධ්‍යනාංශය, ලලිත කලා අධ්‍යනාංශය, නූතන භාෂා අධ්‍යනාංශය, හින්දි අධ්‍යනාංශය සහ සමාජීය විද්‍යා පිඨයේ ජන සන්නිවේදන අධ්‍යනාංශය, පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යනාංශය ආදිය ඊට නිදසුන් සපයයි. ඓතිහාසික මූලය තවදුරටත් පවත්වා ගනිමින්, කැලණිය විශ්වවිද්‍යාලය පාලි හා බෞද්ධ අධ්‍යයනය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි විශිෂ්ටතම ජාතික කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත. මෙයට ඉතා දිගු කාලයක් තිස්සේ පැවතගෙන එමින් සංවර්ධනය වූ අධ්‍යනාංශ වන පාලි හා බෞද්ධ අධ්‍යයන (බෞද්ධ ශිෂ්ටාචාරයට හා බෞද්ධ දර්ශනයට අදාළ), සංස්කෘත, වාග් විද්‍යා, දර්ශනය, සිංහල සහ හින්දි අධ්‍යනාංශ මෙන්ම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනයද අයත් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි. (එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරුන් බොහෝ දුරට කැලණිය සරසවියෙන් උපාධිලාභී වී ඇත). සාම්ප්‍රදායික ශික්ෂණයන්හි නවීන වර්ධනයන් පිළිබඳ විශේෂඥතාවයක් සහිතව, කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වී හමාරය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේම නායකත්වය හොබවන, විශ්වවිද්‍යාලයේ මව් ආයතනය වන විද්‍යාලංකාර පිරිවෙන සමඟ ද සමීප මෙන්ම ඉතා සවිමත් සබඳතාවයක් විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යයි.

ඒ සමඟම, විද්‍යා, වෛද්‍ය, සමාජීය විද්‍යා සහ වාණිජ හා කළමනාකරණ යන පීඨ සමඟ කැලණිය විශ්වවිද්‍යාලයට නවීන හා බහු සංස්කෘතික ව්‍යූහයක් සහ ඉදිරි දර්ශනයක් තිබෙන්නා වූ අතර නූතන භාෂා වන චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, හින්දි, ජපන්, රුසියානු, දෙමළ සහ නවීන වාග් විද්‍යාව ඉගැන්වීම තුළින් ශක්තිමත් පදනමක් ද තනාගෙන ඇත. 21 වන ශතවර්ෂයට පිවිස පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීමකට පත් වී තිබෙන කැලණිය විශ්වවිද්‍යාලය සිය 125 වසරක ඉතිහාසයෙන් නව අදියරකට පා නැඟීමට මඟ බලා හිඳියි.