කැලණිය විශ්වවිද්‍යාලයීය පර්යේෂණ පිළිබඳ මාධ්‍ය හමුවක්

ජනවාරි 3rd, 2018

කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් 2017 දෙසැම්බර් 21 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය පර්යේෂකයන් දිරිමත් කිරීම සහ එම පර්යේෂණ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් පැවැති මෙම මාධ්‍ය හමුව විශ්වවිද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අතර විශ්වවිද්‍යාලය විසින් සිදු කළ පර්යේෂණ තුනක් පිළිබඳව මෙහිදී අනාවරණය කෙරිණි. ලංකාවේ සර්ප දෂ්ඨන අවධානම් කලාප හඳුනා ගැනීම පිළිබඳව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය විසින් සිදු කළ ජාතික මට්ටමේ පර්යේෂණය සම්බන්ධයෙන් මෙහිදී අනාවරණය විය. ජාතික පර්යේෂණ සභාවේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ද සිල්වා මහතා මෙම අවස්ථාවට එක් වෙමින් පෙන්වා දුන්නේ මේ වන විට වසරකට ලංකාවෙන් සර්ප දෂ්ඨන 80,000ක් පමණ වාර්තා වන බවත් එය රටේ ප්‍රජා සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට ද හානිකර බවය. ඉදිරි වසර දෙක තුළ සර්ප විෂට සුදුසු ප්‍රතිවිෂ ඖෂධයක් නිෂ්පාදනය කළ හැකි බව ද මහාචාර්යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය අනුරාධනී කස්තුරිරත්න මහත්මිය ද මෙම පර්යේෂණය සම්බන්ධයෙන් අදහස් දැකවීමට එක් වී සිටියාය.

කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයට අයත් භෞතික විද්‍යා අධ්‍යයන අංශය සහ සූර්ය බලශක්ති විසඳුම් මධ්‍යස්ථානය එක්ව සූර්යකෝෂ භාවිතයෙන් බලශක්තිය නිපදවීම පිළිබඳව සිදු කළ පර්යේෂණය පිළිබඳව ද මෙහිදී අනාවරණය කරන ලදි. මෙම පර්යේෂණ කාර්යයේදී නැවත ආරෝපණය කළ හැකි විදුලිකෝෂ සූර්ය බලය මගින් ආරෝපණය කළ හැකි ක්‍රමවේදයක් ගවේෂණය කර ඇති අතර සූර්ය කෝෂ භාවිතා කරමින් ක්‍රියා කරන විදුලි පංකාවක්, රේඩියෝවක්, විදුලි පන්දමක් සහ හදිසි SMS සේවාවක් සහිත රෝද පුටුවක් නිපදවා ඇත. නොමිලේ ලබා ගත හැකි සූර්ය ශක්තිය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව තරුණ පරපුර දැනුම්වත් කරමින් බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණෙන් මෙම පර්යේෂණ වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසිනි. භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රුවන් විජේසුන්දර මහතා, ආචාර්ය සී. ඒ. එන්. ජයතිස්ස මහතා, ආචාර්ය සුජීවා ද සිල්වා මහත්මිය සහ ආචාර්ය චරිත් ජයතිලක මහතා මෙම පර්යේෂණය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය හමුවට එක්වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය සහ ජාතික විද්‍යා පදනම විසින් සිදු කරමින් පවතින “දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය” පර්යේෂණය පිළිබඳව ද අනාවරණය කරන ලද අතර එම පර්යේෂණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මහාචාර්ය රාජ් සෝමදේව මහතා මාධ්‍ය හමුවට සම්බන්ධ වූයේය. ලංකාවේ ඉතිහාසය ලිවීමේදී දඩයක්කරුවන් විසින් සිදු කළ සොයාගැනීම් මඟහැර ඇති බව පෙන්වා දුන් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම පර්යේෂණයේ අරමුණ මෙරට සංස්කෘතික හා තාක්ෂණික වර්ධනය උදෙසා ඔවුන්ගේ දායකත්වය විධිමත්ව අධ්‍යයනය කිරීම බවය. මේ විට බලංගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන 5ක් කැණිම් කොට කාල නිර්ණය කර ඇති අතර එම කාල නිර්ණය මගින් තහවුරු කරන්නේ මධ්‍ය හොලෝසීන භූ අවධියේදී එනම්, මීට අවුරුදු 6500කට පමණ ඉහත කාල වකවානුවකදී විසූ ප්‍රාග්ඓතිහාසික මිනිසුන් විසින් එතෙක් පැවති සංස්කෘතිය යම් ආකාරයක පරිවර්තනයකට ලක් කර ඇති බව එම පර්යේෂණවලින් සාක්ෂි සහිතව හෙළිදරව් වී ඇත. මෙම පරිවර්තනය ප්‍රධාන වශයෙන් තාක්ෂණය (Technology), ප්‍රජානනය (Cognition) හා ආර්ථිකය (Economy) යන අංශ ඔස්සේ සිදු වී ඇති බවත් මෙම සොයාගැනීම් ඔස්සේ මෙරට පුරවැසියන්ගේ සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳව නව මානයකින් බැලීමට හැකි වන බවත් මහාචාර්යවරයා අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට ඉහත පර්යේෂණ කණ්ඩායම් තුනට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයීය පර්යේෂණ සභාවේ සභාපති විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. පී. සුනිල් චන්ද්‍ර මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගී වූහ.