විද්‍යා පීඨයට පනස් වසරක් සපිරේ

වර්ෂ 1967 දී ආරම්භ කළ කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට මෙම වසරට වසර පනහක් සපිරේ. ඒ වෙසනුවෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් මාලාවක් මැයි මස 18 සහ 23 දිනයන් හි දී කැලණිය විශ්විද්‍යාල පරිශ්‍රෙය් දී හා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රෙය් දී පැවැත්විණ.
විද්‍යා පිඨයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය හා බෞද්ධ ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළ, “පිටිගල ගුණරතන හිමියන්ගේ සුමධුර ධර්ම දේශනය” මැයි මස 18 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්විණ.
ධර්ම දේශනමය අවස්ථාවට විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය බී.එම්.ජයවර්ධන, අංශාධිපතිවරු, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යා පීඨ සංගමයේ ආදී විද්‍යාර්ථීන් හා විද්‍යා පීඨයේ විද්‍යාර්ථීහු රැසක් සහභාගී වූහ.
මෙයට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක් හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය පණ්ඩිත, පුජ්‍ය වැලිමිටියාවේ ධර්මකීර්ති කොළඹ-හලාවත දෙදිසාවේ මහා සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ පනස් (50) නමකට දානමය පින්කමක් ද මැයි මස 23 වන දින පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් භූමියේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්‍ෂමන් සෙනෙවිරත්න, පීඨාධිපතිවරු, අංශාධිපතිවරු, ලේඛකාධිකාරී, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ විද්‍යාර්ථිහු රැසක් සහභාගී වූහ.