සංජනනී 2017

නොවැම්බර් 30th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරන ලද “සංජනනී 2017” නොවැම්බර් 22, 23 හා 24 තෙදින පුරා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙතෙක් වාර්ෂික මාධ්‍ය උළෙලක් ලෙස පැවැති “සංජනනී” මෙවර, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදනය හදාරන විද්‍යාර්ථින්ගේ සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය හදාරන විද්‍යාර්ථින්ගේ එකමුතුවෙන් සන්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙලක් ලෙස පවත්වන ලදි. ‘යහජන මාධ්‍ය හා මානව සබැඳියාවක් උදෙසා’ යන්න තේමා කර ගනිමින් මෙවර පැවැති “සංජනනී” උළෙල සුවිශේෂී අංග කිහිපයකින් සමන්විත විය.

විශ්වවිද්‍යාලයීය උප කුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උළෙලට නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා, ප්‍රධාන ශිෂ්‍ය උපදේශක පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි, අන්තර් පීඨ විෂය මාලා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය දොඩම්කුඹුරේ ධම්මදස්සි හිමි, පර්යේෂණ සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ විනේතෘ මහාචාර්ය එන්. පී. සුනිල් චන්ද්‍ර මහතා සහභාගී වූහ. ඊට අමතරව ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා ඇතුළු එම අධ්‍යයන අංශයේ ආචාර්යවරු ද සෙසු අධ්‍යයන අංශවල ආචාර්යවරු ද විද්‍යාර්ථියෝ ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

සමාරම්භක උළෙලට සමගාමීව සන්නිවේදන හා මහජන සම්බන්ධතා ක්ෂේත්‍ර තුළ සැළකිය යුතු මෙහෙයක් ඉටු කළ ප්‍රවීණයන් ඇගයීමට ලක් කරමින් හරසර සම්මාන ප්‍රදානය කරන ලදි.ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපතිවරයෙකු වන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා, ප්‍රවීණ සංගීත ශිල්පී රෝහණ බැද්දගේ මහතා සහ ප්‍රවීන සාහිත්‍යවේදී සිබිල් වෙත්තසිංහ මහත්මිය මෙහිදී හරසර සම්මානයෙන් පිදුම් ලැබූහ. හරසරින් පිදුම් ලැබූ ප්‍රවීණයන් තිදෙනාගෙන් ක්ෂේත්‍රයට සිදු වූ මෙහෙය පිළිබඳව පැහැදිලි කරමින් සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මුඛ්‍ය දේශනය පැවැත්වූයේය.

‘සංජනනී ගම්මැද්ද’ මෙම උළෙලේ තවත් ආකර්ෂණීය අංගයක් වූ අතර එහිදී විද්‍යාර්ථින් විසින් සම්ප්‍රදායයික ගම්මානයක් ප්‍රතිනිර්මාණය කරන ලදි. උළෙලේ පළමු දින ද්විත්වය පුරාම සෙසු අධ්‍යයන අංශවලටත් සහ විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලටත් ප්‍රදර්ශන කුටි වෙන් කර දී තිබිණි.

සිංහල සිනමාවේ සංධිස්ථාන ආවර්ජනය කරන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් ලෙස ‘බයිස්කෝප් හැන්දෑව’ ප්‍රසංගය ද වේදිකාගත විය. සිංහල සිනමාවේ සුවිශේෂී අවස්ථා නර්තනයෙන් සහ රංගනයෙන් ප්‍රතිනිර්මාණය කිරීම විද්‍යාර්ථින් විසින් මෙහිදී සිදු කළ අතර ‘බයිස්කෝප් හැන්දෑව’ ඔවුන් ලැබූ විෂයානුබද්ධ දැනුම රසවින්දනාත්මක කාර්යයක් සඳහා ප්‍රායෝගිකව භාවිතා කළ අවස්ථාවක් විය. ප්‍රවීණ රංගන ශිල්පී දුලීකා මාරපන ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උළෙලේදී දිවයින පුරා විසිරී ඇති පාසල්වල සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන උසස් පෙළ ශිෂ්‍යයන් 500කට අධික පිරිසක් කැඳවමින් වැඩමුළුවක් පැවැත්වූ අතර එම පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ දේශන මාලාවක් ද සංවිධානය කර තිබිණි. වැඩමුළුව සඳහා සහභාගී වූ සියලුම පාසල් ශිෂ්‍යයන්ට වටිනා සහතික පත්‍රයක් ද ප්‍රදානය කෙරිණි. මීට අමතරව සන්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙලට සමගාමීව පාසල් ශිෂ්‍ය ප්‍රජාව ඉලක්ක කර ගත් නිවේදන තරඟාවලියක් ද පැවැත්විණි.

සංජනනී උළෙලට සමගාමීව පවත්වන ලද Short Stamp කෙටි චිත්‍රපට තරඟාවලියේදී නවකයන්ගේ කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට ඇගැයීමට ලක් කරන ලදි. විශ්වවිද්‍යාල අංශයෙන් සහ විවෘත අංශයෙන් තරඟාවලිය පැවැත්වූ අතර විශ්වවිද්‍යාල අංශයේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ධනංජය බණ්ඩාර විසින් නිර්මාණය කළ ‘Song of the Innocent’ චිත්‍රපටයයි. විශ්වවිද්‍යාල අංශයේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ජේ. කේ. සී. එන්. ජයවර්ධන විසින් නිර්මාණය කළ ‘පූජේමි බුද්ධං’ වාර්තා චිත්‍රපටයයි. විනිශ්චය මණ්ඩලයේ නිර්දේශ අනුව විවෘත අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස හෝ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන ලැබීමට තරම් සුදුසුකම් සහිත කෙටි චිත්‍රපටයක් හෝ වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් වී නොතිබිණි.

සංජනනී 2017 හි අවසාන අදියර වූයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින්ගේ මෘදු කුසලතා එළිදක්වමින් පැවැති ‘අපේ හැන්දෑව’ ප්‍රසංගයයි. විද්‍යාර්ථින්ගේ නැටුම්, ගැයුම්, රැඟුම් ආදියෙන් හැඩ වූ මෙම ප්‍රසංගය දේශීය ජන සම්ප්‍රදායය මෙන්ම සෙසු ජන සම්ප්‍රදායයන් ද මුහු කරමින් සිදු කළ ඉදිරිපත් කිරීම් නිසා වඩාත් වර්ණවත් විය.

දින තුනක් පුරා පැවැති සංජනනී 2017 සන්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙලේ විවිධ අවස්ථාවන්ට පාසල් ශිෂ්‍යයෝ, සෙසු විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථියෝ සහ මාධ්‍යවේදියෝ විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.